Feeds:
Posts
Comments

ඉඩෝරයක් !

වේලුන ඉපල් අහසට දිගු කර දෑත
පෑදුන වැලි ගල්ද ගැන දුක්බර ගීත
සෑදුන පෑවිල්ල දිය බිඳුවක ශීත
සෙනහස සිසිල ගැන කොඳුරති දුර ඈත

වැටහෙන දැනෙන හිරු හැඩ රැස් පිච්චිල්ලයි
තණ අග වියළිපත් හැර කූඹින් රැල්ලයි
පළඟැටි රාවයේ දහවල දෙඩවිල්ලයි
දුක්බර බලා සිටිනා දුක් නෙත් රැල්ලයි

ඉහිළුම් නොදෙන මිහිකත ඉරිතලා මඩ
තුරු කොළ වියලෙනා දලු කොළ හඬන හඬ
දරු පැටවුන් බැඳන් රිළවුන් දුවන හැඩ
හද දුක් සුසුම් ළඟ හද හද මියෙන හඬ

දෙවියන් සිත් සතන් ගැන විමසුම් නැතිව
මුහුකුරා නොගොස් උන් සැඩ සිත් ඇතිව
නුබ ගැබ වැහි කෝඩ තුරුළට ගෙන නතුව
රවටයි නොරවටයි දහසක් දිය නැතුව

© ලිලානි පියරත්න

Advertisements

මලේ සුළඟට කැරකෙන
නලේ සමඟින් ඉගිලෙන
වනේ තුරු මත රඟ දෙන
රෑන සමනළ සනසන

බුදු පහස සොයමින
මල් පිණි දෙපස තවරන
මල් පැණි දොහොත් ගෙන
පියා විහිදයි වෙහෙස අරගෙන

සාදු සාදු හඬ
වයයි උන් මහ නද
සිරිපතුල ළඟ හිඳ
ඉසී මල් පැණි පියා හඹ හඹ

වෙසක් සිරියක් ගෙන
තුරුමත පිපී මල් වන
සුවඳ පොදි පිසගෙන
වඳී මදනල දොහොත් දීගෙන

© ලිලානි පියරත්න

අළුයම සේවයට පැමිණෙන වෙලාවේ
බස්‍ රියෙ ටයරයක් පිපිරී ගියාවේ
එක ටයරයයි මිනිසුන් මං මුලාවේ
ඉඳිරියටම ගිය එය නැවතුනායේ

මිනිසුන් දිවිය මුදලට යට කරන රට
සිතුවිලි අතරමංවී නිති සැලෙන විට
“මරණය” “දිවිය” දැයි ලංසුව තබට විට
අනිත් ටයරයද පිපිරී ගියා පට

© ලිලානි පියරත්න

වැලට බර නැත වැලේ ගෙඩි ටික
හිමින් හිමිහිට දරයි ඵල හැර
ගහට බර නැත ගහේ අතු ටික
රකියි දළු කොළ නිලට වී බර

ගහේ උතුරන කැදලි පෙණ පිඬු
මීන කැල සැනසුමයි නෙත් සර
මගේ සිතැඟිය ඔබේ කඳුලට
සිනා කැන් දී සුමුදු මනහර

© ලිලානි පියරත්න

තම රට තම දිවිය සමකොට සලකන්න
ගහකොළ ආදරෙන් නිතරම රැක ගන්න
කඳු හෙල් අසිරියකි නෙත් යුග සරසන්න
තුරුපත් රකිමු සිහිලස අරගෙන එන්න

උල්පත් ගලන්නේ නිල්තුරු ඇති විටකයි
ගහකොළ නොකපන්න මිහිකත නිති සුරැකෙයි
විහඟුන් සැඟවෙන්නෙ ඵල පිපි තුරු අතරෙයි
උන්ගේ රාවයට සවනක් සිත සපුරයි

මිනිසුනි සිහල ගති පර සිරිතට දෙන්න
කිසිවිටකත් එපා දිවිමෙන් රැක ගන්න
ආදි හෙළ මුතුන් මිත්තන් මෙන් ඉන්න
පාවා දුන්නෙ නෑ ගති මුදලට ඔන්න

තම දිවි පුදා රට ජාතිය රැක ගත්තෝ
වාසිය මුදල තැන මුලකට නොම ගත්තෝ
එකිනෙක එකමුතුව තම රට රැක ගත්තෝ
මගෙ රට මගේ දෙය වස්තුව සේ රැක්කෝ

© ලිලානි පියරත්න

සිනහ ගඟ සිඳී ඇත නොමැත වරමක් සිතට
කඳුළු නෙත ගිලීලා අඬන්නට සිත කුමට
මතක සිතියම ඉරී බොඳව සිහියේ ඉරට
සවන නො ඇසී වගේ දැනුමකුත් නැත මෙමට

නුඹේ සිතුවම කොහේ විසිවෙලා ගියාදෝ
නමක් මතකයක් නැත මැකි මැකී ගියා දෝ
සුසුම් රැළි කොහේවද දුක් පැතුම් නැතිවදෝ
මා දමා නුඹ ගියෙන් මටත් මා නැතිව දෝ

© ලිලානි පියරත්න

සඳතරු වෙනුවට කඳුළක් මොකටද
කවිමල් පිපුනයි සිතක් අරා
ඔබට පුදන්නම් සුදු මල් කර ගෙන
දෝත් මුදුන් දී දිවිය පුරා

ගව්ගානක් දුර පියඹා ගියත් නුඹ
සොයුරු සෙනේ ගඟකට සමවේ
ඒ ගං දිය තරමයි සිත සෙනෙහස
අඩු නෑ උතුරා පිරෙනු දැනේ

අඹ ඇට පැන්නේ එක දෙක කියලයි
වන් ටූ  කීමට බල කෙරුවේ
නුඹ සිත තැත අප අහසෙ තබන්නයි
හද මතුරන සිතිවිලි වැලපේ

මරණය පොදුවේ සැමටම සැමදා
නුඹ මගෙ සොයුරිය ! මිය ගියෙ නෑ
එදා වගේ මට තාමත් තරුණයි
සාගරයක් වී සෙනෙහෙ දරා

© ලිලානි පියරත්න